Jul 30, 2014
1:39 AM
HamademaTips
හොල්මන් කතා.
No comments
සුරාවට සුදූවට ඇබ්බැහි වූ පුද්ගලයන්ගේ ආශාවන් කෙළවර වන්නේ පිහි පහරකින් හෝ වෙඩි පහරකිනි. බමන මතින් ගම පුරා ඇවිද යන චණ්ඩින්ව කාලි මෑණියන් මෙල්ල කළ අවස්ථා එමට තිබෙන බව හලාවත මහා භද්‍රකාලි අම්මාන් කෝවිලේ මහේන්ද්‍ර සාමි පවසයි. මතට ලොල් වූ පුද්ගලයන් වැඩි වශයෙන් ඇදී යන්නේ සල්ලාල කෙම්බිම්වලටය. මිනිසා නොමිනිසා කරන සුරා සොඬුන්ට වැඩි ආයුෂ නොමැති බව අතීත සිද්ධීන්වලින් හෙළිදරව් වන බව මහේන්ද්‍ර සාමි පවසයි.
එවැනි අන්දමට ගමේ චණ්ඩින්ගෙන් පීඩා විඳින ගමේ සිටින රූමත් තරුණියන් ඔවුන්ගේ උපහාසයට ලක්වෙමින් හදවතින් හඬා වැටෙන විට ඔවුන්ගේ පිහිටට එන්නේ කාලි මෑණියන්ය. පතිවත රැකගෙන නිසොල්මනේ සිටින තරුණියන්ට කාලි මෑණියන්ගේ ආදරය ආරක්ෂාව නිරතුරුවම ලැබේ. එවැනි අන්දමට ගමක තිබූ සුරා තිප්පොළකට එන තරුණයන් දෙදෙනකු ගමේ සිටි සුරූපී තරුණියක පසුපස යමින් ආදර අන්දරයකට හිමිකම් කියන්නට උත්සාහ දැරූ අවස්ථාවකදී කාලි මෑණියන් හරස් වී ඔවුන් දෙදෙනාටම අවසන් ගමන් යන්නට පාර කැපීම පිළිබඳ අතීත සිද්ධියක් ගැන කියන්නට මෙම සතියේත් කටහඬ අවදිකර සිටියේ මහේන්ද්‍ර සාමිය.
"මම මේ කියන සුරූපී තරුණිය කඩුවෙලට නුදුරු ප්‍රදේශයක නැන්දණියක සමඟ ජීවත් වූ තරුණියක්. එයාගේ ඥාති නැන්දණියගේ තනියට ඒ නිවෙසේ ඇයව නතර කළේ ඇයගේම මවුපියන්. එයාගේ නැන්දණිය ගමේ අයගේ පිළිගැනීමක් තිබුණු මැදහත් කාන්තාවක්. ඒ නිසාම ගමේ කිසිවකු ඇයට කිසිදු කරදරයක් කළේ නැහැ. ඒ නැන්දණියත් මේ තරුණිය තමාගේම දරුවකු වගේ රැකබලා ගන්නේ ඇය එයාගේ එකම සහෝදරයාගේ දියණිය නිසා. මේ නැන්දණියත් ඒ දියණියත් නිතර නිතර කාලි කෝවිලට ආ-ගිය දෙන්නෙක්. කාලි කෝවිලට එන්න බැරිවුණු මාසවලදී ඒ අය නවගමුවේ කාලි කෝවිලට යනවා. ඒ තරුණියත් වැඩි වයසක් ඇති තැනැත්තියක් නොවෙයි. ඒත් ඒ කාලෙම ඇයට එයාගේ මිත්තණියගේ බැල්ම තියෙනවා කියලා ගම් පළාතේ දේවාලයක අයෙක් කියා තිබුණා. ඒ නිසාදෝ මේ තරුණිය අපේ කාලි කෝවිලට ආ දවස්වලදී මිත්තණිය එයාගේ ඇඟට ආරූඪ නොවුණත් එයාගේ කතා විලාසය ස්වරූපය වෙනස් වී තිබුණු සේයාවක් මට දකින්නට ලැබුණා. ඒත් එයාට මියගිය මිත්තණිය කරදර කළේ නැහැ. මෙහෙම කාලයක් ගතවෙද්දී අර නැන්දණියගේ ගෙදර ආසන්නයේ තිබුණු සුරා තිප්පොළට ආව අල්ලපු ගමේ තරුණයන් දෙදෙනෙක් සල්ලාලකමට මේ ගෙදර තරුණියට බැල්ම හෙළන්න පටන් ගත්තා.
හැමදාම සවසටත් මේ දෙන්නා බීමත්ව මේ තරුණිය ඉන්න ගේ ළඟ රැඳෙමින් තරුණිය එළිමහනට එනතෙක් බලා සිටියා. ඒත් ඒ තරුණිය නැන්දණියගේ රැකවරණ මත සිටියා මිසක් ගෙයින් පිට ඇවිදින්න ගියේ නැහැ. ඒත් නැන්දණියගේ වුවමනා එපාකම්වලට ඇය ළඟම තියෙන කඩමණ්ඩියට යන වෙලාවල් බලලා ඔවුන් දෙදෙනා මේ තරුණිය පසුපස එමින් උසුළු විසුළු කළා. පාසල් ගමන අවසන් වෙලා රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න මේ තරුණියට අර සල්ලාලයන් දෙන්නාගෙන් එල්ල වන කරදර අඩුවක් වුණේ නැහැ. ඒ කරදරය දවසින් දවස වැඩිවෙන්නට පටන් ගත්තා. නිතරම බීමත්ව හැසිරෙන මේ චණ්ඩි දෙන්නටම එකම තරුණියකට පෙම්බැඳ වැඩක් නැහැ කියන එකවත් සිතුණේ නැහැ. ඒ අයගේ සල්ලාල මනස ඒ තරම් අවුල් වෙලයි තිබුණේ. ඒ තරුණියගෙන් ආදරය ඉල්ලීම කෙසේ වෙතත් දෙන්නටම වුවමනා වූයේ ඇය තනියම කොටුකරගෙන ඇයට අතවර කරන්න. ඒක ඒ අය ගමේ තරුණයන් කීප දෙනකුටත් කියලා තිබුණු වග මේ තරුණියටත් ආරංචිවෙලයි තිබුණේ. ඒ නිසාම ඇය මේ චණ්ඩිගෙන් අරක්ෂා වෙන්න නොගත් උත්සාහයක් නැහැ.
සමහර දිනවලට බොරුවක් ගොතාගෙන මේ තරුණියගේ ගෙට ගොඩවදින ඒ තරුණයන් දෙන්නා නැන්දණියගෙන් අහල පහළ ඉඩම්වල ගණන් අහමින් වැඩි කාලයක් ගෙයි මිදුලෙ ගතකරන්න උත්සාහ ගත්තා. ඒත් ඒ සියල්ල තේරුම් ගත්ත මේ තරුණිය තමන් තුළ ඒ අය ගැන අබමල් රේණුවක ආදරයක් නොමැති නිසා ඒ කරදර ගැන නැන්දණියට කියන එක පමා කළා. මොකද ඒ වගක් කීවොත් නැන්දණිය බියවෙයි කියලයි ඇය එහෙම කළේ. ටික දිනකදී අර කසිප්පු තිප්පොළට එන චණ්ඩි දෙන්නා එකිනෙකා අතර තිබූ හොඳ හිත නැතිව ගියා. ඒකට හේතු වුණෙත් මේ තරුණිය බෙදාගන්න බැරිකම. ඔවුන් දෙන්නා එකිනෙකාට හොරෙන් කසිප්පු තිප්පොළට ඇවිත් සුරා මතින් තරුණියගේ ගේ ළඟින් ගිහින් ඇය දැකගන්න උත්සාහ කළත් ඒ සියලු උත්සාහයන් බිඳ වැටුණා. දිනක් මේ තරුණිය රෙදි මිලදී ගන්න නිවෙස ආසන්නයේ නගරයේ රෙදි සාප්පුවකට ගිහින් රෙදි තෝරමින් සිටියදීත් මේ දෙන්නා ඇය පසුපස ගිහින් ආදරය ඉල්ලා ඇය ඉදිරියේ කන්නලව් කළා. ඒ වෙලාවේ ඇයට ඇතිවුණේ හරිම බියක්. මේ තරුණිය ඒ දෙන්නගෙන් ගැලවිලා ගෙදර ගියේ බොහොම අමාරුවෙන්. දැන් මේ තරුණියට වෙච්ච දේ ගැන නැන්දණියට නොකියා ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එයා මේ කරදරය කාලි මෑණියන්ට භාර කළා.
එහෙම කරලා ඒ තරුණිය කාලි මෑණියන් වෙනුවෙන් පහනක් වෙන් කළා. ඔය අතරෙදි එයාගේ පසුපස අදෘශ්‍යමාන සෙවණැල්ලක් මෙන් සිටින මියගිය මිත්තණියගේ ආත්මයේ ආරක්ෂාවත් ඇයට ලැබිලා තිබුණා. ගමේ චණ්ඩි දෙන්නා කොයි මොහොතක හෝ මේ තරුණිය පැහැරගෙන ගිහින් අතවර කරන්න පවා සැලසුම් කළා. ඒක ඒ දෙන්නා මේ තරුණියට උසුළු විසුළු කරමින් පසුපස යන අවස්ථාවකදී ඒ ගැන කියමින් ඇයව බියවැද්දුවා. ඒත් මේ තරුණිය ඒවායින් සැලුණේ නැහැ. එක් අවස්ථාවක මේ තරුණිය මේ චණ්ඩි දෙන්නගේ මුහුණටම කීවේ නොලැබෙන දෙයකට හඬා පලක් නැහැ කියලයි. ඒ වචනය නිසා තව තවත් ඒ දෙන්නා මේ තරුණිය සමඟ වෛර බැඳ සිටියා. මේ සිද්ධීන් මෙහෙම පෙළගැසෙද්දි මේ තරුණියගේ ඥාතියකු මාර්ගයෙන් එයාට ජෝර්දානයේ විදේශ පවුලක් සිටින නිවෙසක විදේශ රැකියාවක් ලැබුණා. ඒත් එහෙ යන්න මේ තරුණිය සූදානම් වෙන බව මේ තරුණිය ගමට පවා වසං කළා. ඒ මොකද ඒක ගමේ චණ්ඩි දෙන්නට ආරංචි වුණොත් මේ තරුණියට අනතුරක් වේවි කියල. ඒ දේ රහසක් ලෙස තියාගත්තේ. කොහොම නමුත් මේ තරුණියගේ ආදරය බලෙන් හරි ගන්න බැරි වුණොත් නැන්දණියගෙන් හරි පළිගන්නවා කියලා මේ චණ්ඩි ගම පුරා ආරංචි පැතිර හැර තිබුණා.
ඒ වගේම මේ චණ්ඩි දෙන්නා එක් අවස්ථාවක මේ තරුණියගේ ගෙදරට ගල්මුල් ප්‍රහාරයක් පවා එල්ල කර තිබුණා. ඒ තරුණියගේ නැන්දණිය මේ චණ්ඩි දෙන්න එයාගේ ඥාති දියණිය පසුපස එමින් ගෙනයන වියරු සිහිනය ගැන හරියට දැනගත්තේ මේ තරුණිය ජෝර්දානය බලා යන්න සතියකට පෙර. ඒත් එයා දෙවියන්ට මෙන්ම ඒ අය අදහන කාලි මෑණියන්ට ඒ අයගේ ආරක්ෂාවත් ජීවිතත් භාරදීලයි තිබුණේ. මේ තරුණිය ජෝර්දානය බලායන්න කලින් ඒ අයගේ ගම ආසන්නයේම තියෙන කාලි දේවාලයට ගිහින් එයත් එයාගේ නැන්දණියත් ආරක්ෂා කරලා දෙන්න කියලා කාලි මෑණියන්ට පඬුරු ගැටගහලා භාර වුණා. තමන්ට කරදර කරන චණ්ඩි දෙන්නගෙනුත් නැන්දණිය ආරක්ෂා කරලා දෙන්න කියලා තරුණිය ගමේ දේවාලෙ පොල් ගහලා ඊට පසුදාම ඇය ජෝර්දානය බලා පිටත්ව ගියා. ඒ වගේම නැන්දණියගේ නිවෙසේ ආරක්ෂාවට එයාගේ සහෝදරයන් දෙන්නෙක් තවත්තලා යන්නත් ඒ තරුණිය අමතක කළේ නැහැ.
මේ තරුණිය ජෝර්දානයට ගිය ආරංචිය මේ චණ්ඩි දෙන්නට ආරංචි වූයේ සති දෙකකට පස්සෙ. ඒ ආරංචියත් සමඟ මේ චණ්ඩි දෙන්න අතර තිබුණු හොඳ හිත බිඳවැටිලා දෙන්නට දෙන්නා නයි පොළොංගු වගේ විරසක වුණා. මේ සේරටම මුල ඒ දෙන්නා කියලා දෙන්නට දෙන්න රණ්ඩු කරන්න වුණා. ඒ විරසකය කෙතරම් දුරට දුරදිග ගියාද කීවොත් දිනක් කසිප්පු තිප්පොළකදීම දෙන්නට දෙන්නා ගුටිබැට හුවමාරු කරගෙන එක්කෙනෙක් අනෙකාට පිහියෙන් ඇන ඝාතනය කළා. අනෙකා බන්ධනාගාරයට පියමං කළා. තහනම් ආදරයක් බලෙන් ලබාගන්න තරුණියන්ට කරදර කරන චණ්ඩින්ට කාලි මෑණියන් දඬුවම් දෙන්න වැඩි කලක් ගතනොවෙන බව මේ සිද්ධියෙන්ම පෙනෙන්නට තියෙන දෙයක්."
මහේන්ද්‍රසාමි කතාව අවසන් කළේය
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.