
එනිසා අයෙත් ඇවිත් යන්ට වරෙන් -
ප්‍රාරම්භයට කලින් එළඹුණු අවසානයන් නිසා දුක් විඳින මිනිසුන් ඕන තරම්. ඒත්
උන්ට තාමත් සන්තෝස වෙන්න පුළුවන්.ඒ තවමත් උන්ගේ පිටිපස්සෙන් ආත්මීය
සාධකයක් විදිහට ඇදෙන සෙවණල්ල නිසා.ඒත්.............සෙවණල්ලක්වත් නැති උන්? උන් මේ අවකාශය තුළ අතරමං වෙලාද? අඩුම තරමේ ...........අඩුම තරමේ තමන්ට අයිතිව තිබුණු මනුෂ්‍යත්වයව පවා අහිමිව!!!
ඒ අසූ ගණන්වල මුල් හරියේ දවසක්. ජා ඇළ කණුවන හන්දියටත් වෙනද වගේම කරුවල
වැටුණා. කාලෙකට කලින් හන්දියේ හිටවපු සුදුපාට පිළිමේ හැන්දෑවේ අඳුරින්
නැහැවුණේ අහළ පහළ බල්ලන්ගේ උඩු බිරුම් හඬ වැඩිවෙනවාත් එක්කමයි. කඩපිල්වල
ලෑලි දොරපළුවලට අගුල් වැටෙද්දි හන්දියෙන් ඒ පැත්තට මේ පැත්තට හරවපු වාහන
ගණනත් අඩු වුණා.ඉඳ හිට හරි හන්දිය පහු කරලා යන වාහනයක් වුණත් පිළිමේ ළඟදි
ඉගිළුණේ පුළුවන් තරම් වේගය වැඩි කරලා.
විතාරණ කටුනායක ගුවන්
තොටුපොළේ නතර කළ ගුවන් යානයෙන් බහිද්දිම වෙලාව රෑ දොළහට විතර ඇති. අවුරුදු
ගාණක් පිටරටක රැකියාව කරලා ලංකාවට ආ විතාරණට ඕන වුණේ කාටවත්ම නොකියා ගෙදරට
ගිහින් හැමෝම ම පුදුම කරන්න. රෝල දිගේ ආපු ගමන් මළු දෙකත් අරගෙන ගුවන්
තොටුපොළෙන් එළියට ඇවිත් ඊළඟට බැලුවේ කුලීරියක් හොයාගන්න. විතාරණ කතා
කරන්නත් කලින් ළඟට ආ රියදුරෙක් අතේ තිබුණු බර ගමන් මළු තමන්ගේ දෑතට ගත්තේ
සුහදශීලි විදිහට ඔහු දිහා බලලා හිනාවෙන ගමන්. ටිකක් ඔබ්බෙන් නවතලා තිබුණු
රථය දිහාට ගිය රියදුරා ගමන් මළු බිම තියලා තමන් ළඟ තිබුණු යතුරකින් කාරෙක
පිටි පස්සේ ඩිකිය විවෘත කළා.
"පොඩ්ඩක් ඉන්න. ඕකේ බිඳෙන දෙයක් තියනවා.මම ඒක අතේ තියා ගන්නං"
රියදුරා දෙවැනි ගමන් මල්ල ඩිකියට පටව්න්න යද්දි විතාරණ කියන්න වුණා. ඊළඟට
ගමන් මල්ල විවෘත කරලා එළියට ගත්තේ උඩින්ම තිබුණු පාර්සලයක්. රියදුරා දොර
හැර දුන් පසු ඉදිරි පස ආසනයේ වාඩිවුණු විතාරණ උකුලේ තබා ගත්තේ තමන්ගේ
පෙම්වතියට මිලදී ගත් සුකුරුත්තම් භාණ්ඩ වගයක් සහිත ඒ පාර්සලය .
රියදුරා රථය පණ ගන්වද්දිම ඉදිරි පස ලාම්පු එළිය වැදිලා හාත්පසම එළිය
වුණා.ඊළඟට රථය පිවිසුණේ ගුවන් තොටුපොළ පර්යන්තයෙන් මහපාරට.බොහෝ මගීන් කරනවා
වගේම විතාරණත් තමන්ගේ වයසෙම වගේ හිටිය රියදුරත් එක්ක කතාවට වැටුණා.
රියදුරා - අනිල් කතාවට දක්ෂයෙක් බව තේරුම් ගන්න විතාරණට වැඩි වෙලා ගියේ නෑ.
අනිල් වැඩි පුරම කතා කළේ ලංකාවේ දේශපාලනය ගැන. විතාරණ දේශපාලනයට ඒ තරම්
කැමැත්තක් නොතිබුණත් මුඛරි රියදුරාගේ කතාවට ඇහුම් කන් දීගෙන හිටියේ
ආසාවකින්. වැඩිමනක්ම කතා බහෙන් ඔහුගේ නිදිමත නැතිවෙන නිසා. රාත්‍රී කාලේ
වුණු නිසා පාරේ වාහන ඒ තරම් දකින්න ලැබුණේ නැහැ.ඒ නිසාම රියදුරා රථය ධාවනය
කළෙත් බොහොම වේගයෙන්.
ඇතින් ගුවන් තොටුපොළේ විදුලි පහන් වල එළිය
පෙනෙන්නේ නැතිව යද්දි විතාරණ්ගේ හිත කාංසියකින් පිරෙන්න වුණා.ඒත් නිවස මතක්
වෙද්දි ඇස් පවා එළිය වුණේ ආදරණීය හැඟීම් ගොන්නකින්.
"......ඔව්.......දැන් හැමදේම වෙනස් මහත්තයා.කලබල නං අඩුයි. ඒත් ඒක කොච්චර
කාලයක් තියෙයිද දන්නේ නෑ.රජයත් ඉස්සරට වඩා හදිස්සියෙන් තැන් තැන්වලින්
මතුවෙන එක එක කල්ලි හැමදේම හොයලා බලනවා.අපට නං සෙතක් නෑ..."
රියදුරු අනිල් ඔහේ කියවගෙන යද්දි විතාරණගේ නෙත් යොමුවුණේ ඩෑෂ් බෝඩ් එක උඩ
තිබුණු කැසට් පටි කීපයක් දිහාවට.ඉංග්‍රීසි සින්දු සහිත කැසට් පටි අතරේ
තිබුණු එකම එක සිංහල කැසට් පටයක් විතාරණ අතට ගත්තා.
"රුක්මණී දේවි මැරෙනකොට මහත්තයා ලංකාවේ හිටියද?"
දේශපාලන කතාව ටිකකට නතර කළ අනිල් ඇහුවේ අනෙක් පස ආසනේ ඉඳගෙන කැසට්පටිය දිහා ඇස් දල්වගෙන බලා හිටි විතාරණගෙන්.
"නෑ........එතකොට මම මෙහේ නෑ.ඒත් මට ඒ ගැන ආරංචි වුණා.....ඉස්සර මම අහන්නෙම රුක්මණී දේවිගෙ සින්දු. ඒත් කාලෙත් එක්කම ඒක අත් ඇරුණා"
".... ඔය පටියත් රට ඉඳන් ආපු මහත්තයෙක් දාලා ගිය එකක්.මට වැඩිපුරම
ඇහෙන්නේ ඉංග්‍රීසි සින්දු තමයි.ගොඩක් වෙලාවට මේකට නගින්නෙත් ලංකාවට එන
සුද්දොනේ.අනිත් එක මහත්තයා දන්නවද? රුක්මණී දේවි ඇක්සිඩන්ට් වුණෙත් තව
ටිකක් ඉස්සරහ.මම යනකොට මහත්තයට පෙන්නන්නම්කො"
රියදුරා තවත් ගියරයක් මාරු කරන ගමන් කියන්න වුණා.
"මම දැනන් හිටියේ ඇක්සිඩන්ට් වෙලා මැරුණා කියලා විතරයි.මේ හරියේ කියලා දැනගෙන හිටියෙ නෑ"
විතාරණ එහෙම කිව්වේ අතේ තිබුණු කැසට් පටිය ඩාෂ්බෝඩ් එක උඩට විසි කරන
ගමන්.ඒත් ඉලක්කෙ වැරදුණු නිසාදෝ කැසට් පටිය ප්ලාස්ටික් ආවරණයේ වැදී වැටුණේ
විතාරණගේ දෙපතුළ ළඟට. අතේ තිබුණු පාර්සලය නිසා බිම වැටුණු කැසට් පටිය ගන්න
විතාරණට අමාරු වුණා.
"කමක් නෑ මහත්තයා. ඕක බැස්සට පස්සේ අහුලලා තියන්න පුළුවන්නේ.මහත්තයා පාර්සලය පොඩි කරගන්නෙ නැතුව ඉන්න"
කළුවරේ බිම අතපත ගාන විතාරණට රියදුරා කිව්වා. අනිල්ගේ හඬින් විතාරණ ආයෙමත්
බාගෙට ඇරලා තිබුණු ජනෙල් වීදුරුව තුළින් ඈත් කරුවල දිහා බලාගෙන ඉන්න වුණා.
අත් ඔරලෝසුව දෙස බැලූ රියදුරාට පෙනුණේ පාන්දර දෙකට මිනිත්තු කිහිපයකට වඩා
නැති බව.
පාර දිගට පිහිටලා තිබුණු උස් පහන් කණුවලින් නිකුත්වුණේ
මලානික එළියක්.ඒ ආලෝකය පවා උත්සාහ කළේ හිතේ කාලකන්ණිකමක් ඇති කරන්න.සමහර
වෙලාවට අයිනේ තිබුණු රූස්ස ගහක අඳුරු සෙවණැල්ල තාර පාරේ පදාසයක්ම වසාගෙන
තිබුණා. රථයේ විදුලි පහන්වලින් වත් අඳුර මකාදමන්න ඒ තරම් සෙතක් ලැබුණේ
නෑ.පසු බිමෙන් ඇහුණු මෝටර් රථයේ ශබ්දයත් විතාරණගේ හිතට ගෙන ආවේ කරදරකාරී
හැඟීමක්. ඒ නිසාමදෝ හිස ඇල කරලා ජනෙල් වීදුරුවට හිස තියා ගත් විතාරණ නිදා
ගන්න උත්සාහ කළා. තමන්ගේ දේශ්පාලන කතා නතර කළ රියදුරා තවත් වේගයෙන් රිය
පදවමින් හිටියා.
ජනේලයට හිස තියාගත්තත් බාගෙට ඇරපු වීදුරුව තුළින්
පෙරිලා ආ හීතල හුළඟ විතාරණට නිදා ගන්න ඉඩ දුන්නේ නැහැ. පපුව පුරාම හිරිගඩු
නැංවුවත් මොකද්දෝ හේතුවකට වීදුරුව වහන්න විතාරණ අකමැති වුණා.ඒ වෙනුවට
තමන්ව පහුකරලා වේගයෙන් පසු පසට ඇදිලා යන අඳුරු සෙවණලි දිගා බලාගෙන විතාරණ
සුසුම්ලන්න වුණා.තවත් මිනිත්තු කිහිපයක් ගතවෙන්න ඇති.රථය ළංවෙලා තිබුණේ
තුඩැල්ල හන්දියට.
"මෙතන තමයි මහත්තයා තැන. අර හරියෙදි තමයි රුක්මණී දේවි ගිය වාහනේ හැප්පිලා තියෙන්නේ"
අනිල් එහෙම කියද්දි විතාරණ බාගෙට පියවෙලා තිබුණු ඇස් ඇරලා බැලුවා.මුලින්ම
පෙනුණේ සුදු පාට ගාපු පිළිමයක්.සාරියකින් සැරසිලා තිබුණු පිළිමේ අඩ අඳුරේ
දී වුණත් රුක්මණී දේවිගේ බව අඳුර ගන්න විතාරණට අමාරු වුණේ නැහැ.කැරලි කැරලි
කොණ්ඩය බෙල්ල දෙපැත්තෙන් වැටෙන විදිහට ස්කස් කරලා තිබුණේ.සෘජු විදිහට ඈත
බලා ඉන්න පිළිමේ විතාරණගේ හිතේ ඇති කළේ ගුප්ත හැඟීමක්.තමන්ගේ පාමුල වැටිලා
තියන කැසට් පටය ආයෙමත් සැරයක් විතාරණගේ සිහියට නැගුණා. ඒ කැසට් පටයේ කටහඬ
හිමි කාරියගේ පිළිමය තමන් ඉස්සරහින්!!! එක මොහොතකට විතාරණගේ ඇස් ගිණිකන
වැටුණේ පිළිමේ සිටවපු දිලිසෙන කළුපාට ආධාරකයේ වැදිලා පරාවර්තනය වුණු වාහනේ ම
පහන් එළිය ඇස් දෙකට වැටීමෙන්.
ඒත් එක්කම ජා ඇළ ගම්පහ පාරට හරවපු
මෝටර් රථය ඉගිලෙන්න වුණා.අනිල් මුකුත්ම කතා නොකට තදින් සුක්කානම අල්ලගන්න
හැටි විතාරණ දැක්කා. ඒ හිතේ තමන්ට නොකියවුණු දෙයක් ඇති බව විතාරණට නොදැනුණා
නෙමෙයි.
තව වතාවක් හැරී වාහනයේ පිටුපස කවුළුව තුළින් බැලූ විතාරණට පෙනුණේ පසුවී යන නිසොල්මන් පිළිමය .
ලොකු හුස්මක් හෙලා පපුව සැහැල්ලු කරගත් විතාරණ හෙමින් සැරේ ආපසු හැරුණා.
ඒත් ...............ඒත් ....එක මොහොතකට දකින්න ලැබුණු දෙයකින් විතාරණ ගල්
ගැහුණා.දකුණු පැත්තේ රියදුරු ආසනය මත හිඳ සිටි අනිල්ගේ මුව බාගෙට විවර වී
තියෙබ බව දැක්කෙ ඇස් කොණෙන්.දුබල වුණත් වාහනයේ ඉදිරි පස පහන් එළිය වැදී
ඇගේ සුදු සාරිය දිලිසුණා.තමන් තත්පර කිහිපයකට කලින් දුටු ප්‍රතිමාවේ රූපයම
වාහනයට ඉදිරියෙන් පාර හරහා මාරු වෙන හැටි ඔහුට දකින්න ලැබුණේ එක නිමේෂයකට
විතරයි.
ඒත් කැරලි වැටුණු කොණ්ඩය බෙල්ල දෙපැත්තෙන් බේරෙන හැටි,
හිස ඔසවා බැලූ සෘජු බැල්ම එකට තදවූ දෙතොල් යුග විතාරණගේ ඇස් වලින් වහන්
වුණේ නැහැ.තවත් මොහොතකින් වාහනයට යටවන්නට යන කාන්තා රූපය බේර ගන්න රියදුරු
- අනිල් තද කළ තිරිංගවල ප්‍රබලත්වය විතාරණට දැනෙන්න වුණේ මෝටර් රථය පාර
පුරා කැරකෙමින් යන්නට වූ නිසා.පාර පුරා ඇතිල්ලුණු ටයර් වල ශබ්දය හිතට ඉඟි
කළේ අවිනිශ්චිත මරණය.වාහනයේ හිඳ සිටි ආසනය තදින් අල්ලාගෙන සිටි ඔහුට
පෙනුණේ ඒ මේ අත වැටෙන රථයේ ලාම්පුවල එළිය. තවත් තත්පරකිහිපයක් ඇතුළත
විතාරණට ඇහුණේ රථය මහ හඬක් නගමින් ගහක වැදුණු ශබ්දය.ඒ එක්කම ඉදිරි
වීදුරුවත් බිඳගෙන විසිවුණු ඔහු නතර වුණේ මහ පාර මැද. නළලෙන් ගලා ගිය ලෙයින්
තාර තෙත්වෙන බව විතාරණට දැනුණා.ගසේ වැදී නතරවුණු මෝටර් රථයේ පහන් එළිය
විතාරණ හිටි තැනට වැටිලා තිබුණු අතර ඒ එළියෙන් දිලිසුණේ පාර පුරා විහිදුණු
වීදුරු කැබලි.
විතාරණ උත්සාහ කළේ හෙමින් සැරේ ඔළුව උස්සලා බලන්න.ඒත් ඒක
සෑහෙන්න අමාරු බව ඔහුට වැටහුණා. නොනවත්වා ගලා යන රුධිරය නතර කරගන්න අතින්
නළල තදකරගත් ඔහුට පිටුපසින් ඇහුණේ කෙනෙක් හෙමින් සැරේ පියවර තියමින් එන හඬ.
ඔව්........ඒ පාවහන් වලට බිඳුණු වීදුරු කටු තදවෙලා.......තව තවත් බිඳෙන
හැටි ඇහුණා.හිත භීතියට පත් කරමින් පාවහන් හඬ විතාරණගේ පිටුපසින්
නැවතුණා.ඒත්..........ඒ කෙනාගේ සෙවණල්ලක් තමන්ගේ ඉස්සරහට වැටිලා තියෙන හැටි
නම් විතාරණ දැක්කේ නැහැ.
තාරපාරට තද වෙලා තියන පපුව ඇතුළේ ගැහෙන
හදවතේ රිද්මය එන්න එන්නම වැඩිවෙන අතරේ ආයෙත් පියවර හඬ විතාරණ පහු කරමින්
ඉදිරියට ඇදෙන්න වුණා _ බොහොම හෙමින්. සිහි විසඥ වෙන්න මොහොතකට කලින් ඒ
ඇස්වලට බොඳ වෙවී පෙනුණේ හෙමින් සැරේ ඇදිලා යන කාන්තාවකගේ ඔප දැමූ කළු පැහැ
උස් අඩි පාවහන්. හෙමින් හෙමින් ඇදුණු පියවර, පාරේ ඉස්සරහට වෙන්න වැටිලා
බිඳිලා ගිහින් තිබුණු තමන්ගේ පෙම්වතියට ගෙනාව පාර්සලය උඩින් යන හැටිත්
විතාරණ බලාගෙන හිටියා. ඒ පාවහන් පසුපස බිම දිගේ ඇතිල්ලෙමින් යන සුදු සාරි
පොට බොඳවෙමින් පෙනෙන විට විතාරණගේ දෑස් පියවුණේ මුළු ලෝකයම අඳුරු කරමින්.
දවස් කිහිපයකට පස්සේ විතාරණට සිහිය එනවිට රියදුරු අනිල් ජීවතුන් අතර
හිටියේ නැහැ.ඔහු අනතුරු සිදුවුණු වෙලාවෙම මිය ගිහින් තිබුණා.අනතුරට හේතුව
දැන සිටියේ විතාරණ විතරයි. ඒත් .......... ඊට සමාන මරණීය අනතුරු කිහිපයක් ඒ
ඉසව්ව පුරා සිදුවෙනතුරු විතාරණගේ ප්‍රකාශය විශ්වාසකරන්න කවුරුවත් ඉදිරිපත්
වුණේ නැහැ. අනතුරුවලින් ජීවිත බේරාගත් බොහෝ දෙනක්ට දකින්න ලැබිලා තිබුණේ
සුදු සාරියකින් සැරසුණු කාන්තාවක්. කාලයක් යනතුරුම සාරියකින් සැරසුණු ඈ රෑ
යාමයේ සක්මන් කළා - ප්‍රතිමාව ඉවත් කරන තුරුම.
උපුටා ගැනීම.. :)
ReplyDeletehttp://amilawickramasinghe.blogspot.it/2012/10/blog-post_6685.html