“අන්න උක්කුවගේ ගෑණී හොල්මන් කරනවලු දැන්. අපේ අක්කාගේ ලොකු එකා හැන්දෑවෙ ඔතනින් එන කොට බයවෙලා. ඊයේ රෑම හාමුදුරුවන්ට කියලා පිරිත් නූලුත් බැන්දෙව්වා ”
“අර පිහියෙන් ඇනලා මරපු ගෑණිගේ අවතාරේ උන්ගේ ගෙවල් ලඟ පාරේ ඉන්නවලු. ඊයෙ ඔතනින් ගිය බයික් කාරයෙකුත් බයවෙලා ”
“මාර වැඩේනේ බං ඊයේ රෑ මම එද්දි බස් එක නෑ. පයින් ආවේ. මල කෙළියයි සිරියා අක්කාගේ හොල්මන මම ඇස් දෙකෙන්ම දැක්කනේ බං. දිවුවා දිවිල්ලක් නැවතුණේ ගෙදර.”
මේ අයුරින් නොයෙක් කටකතා ගම පුරා පැතිරෙන්නට වූයේ ගමේ කවුරුත් දන්නා පුද්ගලයෙකු වූ උක්කුං තම බිරිඳ වූ සිරියාවතීට පිහියෙන් ඇන ඝාතනය කර දෙමසක් යන්නටද පෙරය. කවුරුත් දන්නා පරිදි උක්කුං පහුගිය කාලයේ සැමදාම තම බිරිඳ සමග රණ්ඩු කරන්නට වූයේ හේතුවක් කවරෙකුටවත් සිතා ගත නොහැකි අන්දමෙනි. දිනක් ඔහු මෙසේ රණ්ඩු වී දැඩි කෝපයෙන් තම බිරිඳ පසු පස ලුහුබඳින්නට වූයේ නිවසේ වූ පිහියක්ද අතට ගෙනය. සිහිවිකල්ලෙන් තමා හඹා එන සැමියා දැක මර බියෙන් දිව ගිය සිරියාවතී තම මවගේ නිවස ඉදිරිපිටදී සැමියා විසින් එල්ල කළ පිහි පහරින් මිය ගියේ අවට ගම්වැසියන්ද බලා සිටියදීමය. තම බිරිඳව මරා දැමූ උක්කුං කිසිවක් පිළිබඳව නොතකා කිසිදු බියකින් තොරව අසල වූ බෝක්කුවක් මත වාඩි වී බලා සිටියේ ගමේ මිනිසුන් ඔහුගේ බිරිඳගේ සිරුර දෙස බලා සිටියදීය. මඳ වේලාවකින් පොලීසියේ මහතුන් රැගත් ජීප් රියක් පැමිණ උක්කුංව ජීප් රථයට නංවා ගෙන පිටත්ව ගියත් ජීප් රිය පොලිස් ස්ථානයට ලං වන්නටත් පෙරම උක්කුංද නහයෙන් කටින් ලේත් සෙමත් පිට කරන්නට විය. රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව උක්කුංද කිසිවක් දැනගන්නට පෙරම මිය ගියේ වස පානය කිරීමෙන් බව වෛද්යෝ නිගමනය විය. උක්කුං හා සිරියාවතී කොතරම් රණ්ඩු කළත් අවුරුදු 10ක හා 12ක දරුවන් දෙදෙනෙකු සිටින උක්කුං බිරිඳ ඝාතනය කර තමාද සියදිවි හානි කරගනු ඇතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත.
කෙසේ වුවද මෘත දේහයන් දෙක ඔවුනොවුන්ගේ උපන් ගම් වල නිවෙස් වලට ගෙනයාමෙන් ගම් කිහිපයකට දුරින් පිහිටි තවත් ගමක උක්කුංගේ සිරුර භූමදානය කෙරිණ. සිරියාවතීගේ සිරුර භූමදානය කෙරුණේ ඔවුන් වාසය කළ ගමේම සොහොන් පිටියේය. ඉන් මසක්ඉක්මයත්ම ගමේ සමහරෙක් සිරියාවතීගේ අවතාරය දකින්නට වූයේ ය. මේ පිළිබඳව නොයෙක් කටකතා ගම්මුන් අතර පැතිර යන්නට වූයෙන් අවට ගම් වල මිනිසුන් විසින් ද රාත්‍රී කාලයේදී ගමන් යෑම අවම කෙරිණ. බසයෙන් හෝ කිහිප දෙනෙකු සමග මිස ඇඳිරි වැටුණු පසුවනම් මෙම ප්‍රදේශය හරහා කිසිවෙකු නොගියේය. මන්ද යකුන්ටත් බය නැතැයි කියන පුද්ගලයන් පවා සිරියාවතීගේ අවතාරය දැක බිය වීම නිසාය.
මීරිගම දුම්රියපොළ අසල ත්‍රී රෝද රථ ගාලේ ත්‍රීරෝද රථ හිමිකරුවන් අතරින් මීලඟ ගමන් වාරය හිමි රියදුරු වූ නිශාන්ත රාත්‍රී 11ට පමණ මීරිගම වෙත ලඟා වූ දුම්රියෙන් බට මගීන් දෙස විමසිලිමත්ව බලා සිටින්නට වූයේ කවුරුන් හෝ කුළී ගමනක් යන්නට පැමිණෙන තෙක්ය. මේ වේලාව වන විට කිසිදු බස්රථයක් මීරිගමින් පිටත් නොවූයෙන් මෙසේ පැමිණෙන මගීන් හට බොහෝ දුරට මෙම ත්‍රීරෝද රථ කුළියට ගැනීමට සිදු වෙයි. එදින නිශාන්ත වෙත ලඟා වූයේ හේනේ පොල දක්වා ගමන් කළ යුතු මගියෙකි. මගියාවද රියෙහි නංවා ගත් නිශාන්ත මීරිගම වේවැල්දෙණිය මාර්ගයේ ගමන් කරන්නට වූයේ පවනට බඳු වේගයකිනි. මගියාටද ඉක්මණින් නිවසට යාමට ඇති අවශ්‍යතාවය නිසා මේ සියල්ලක් සිතින් ඉවසා මුවින් නොබැණ හිඳ සිටියේය.
මිනිත්තු 15කින් පමණ මගියාවද නිවෙස වෙත ගෙනගොස් ආපසු යාමට හැරුණු නිශාන්ත නැවතත් සුපුරුදු මග දිගේ මීරිගම දක්වා රිය ධාවනය කරන්නට විය. ඔහු ලින්දර පසුකොට තවත් මඳ දුරක් යත්ම පාරේ සුදු වතින් සැරසුණු කිසිවෙකු තමා සිටි දෙසට ඇවිද එනු පෙනිණ. ඔහු ඉදිරියට යත්ම ඒ සුදුවතක් හැඳි කාන්තාවක බව ඔහු ඇඳින ගත්තේය. ඔහු මෙම කාන්තාව ලං වන විට වේගය මඳක් අඩාල කලේ තවත් කුළී ගමනක් ලැබෙන්නට ඉඩ ඇති බව පුරුද්දෙන්ම දත් නිසාය. කාන්තාවද ත්‍රීරෝද රථයට නවත්වන්නට අත දිගු කොට සන් කළාය. නිශාන්තද වහාම රිය නතර කොට නගින්නයැයි කීවේ තවත් කිසිවක් විමසන්නට අවශ්‍ය නොවූ හෙයින්ය.
“ මල්ලී මට මේ පැත්තටයි යන්න ඕන” කාන්තාව වේවැල්දෙණිය පැත්තට අත දිගු කොට නිශාන්තට පෙන්වූවේ ඔහු මේ වන විට ගමන් කරමින් සිටියේ අනෙක් පසට නිසාවෙනි.
“ හරි අක්කේ නගින්න.” කියූ නිශාන්ත කාන්තාව රථයට ගොඩ වීමෙන් පසුව නැවතත් වේවැල්දෙණිය දෙසට ත්‍රීරෝද රිය හරවා ගත්තේය. ඔහු නැවතත් පවනට බඳු වේගයෙන් රිය ධාවනය කරන්නට වූයේ මොහොතකට හෝ නොසිතාමය.
“ කොහාටද අක්කේ යන්නේ ” මඳ දුරක් ගිය නිශාන්ත වංගුවක් පසු කිරීමට ආසන්නයේ මගියාගෙන් යන තැන පිළිබඳව නිශ්චිත ලකුණක් අවශ්‍ය වූ හෙයින් ඇගෙන් විමසුවේය.
“ මාව මරාපු එකාගේ ගෙදරටයි යන්න ඕන ” කාන්තාව පිළිතුරු දුන්නාය. එහෙත් ඒ පිළිබඳව නිශාන්තට සිහියක් නොවීය. නිශ්චිතව යන තැන නොකී නිසා ඔහු නැවතත් ඇගෙන් එය විමසන්නට විය.
“ ගෙදර කොහේද අක්කේ ” යි අසමින්ම ඔහු පිටුපස ආසනය දෙසට මඳක් හැරී බැලුවේ කාන්තාවගෙන් පිළිතුරක් බලා පොරොත්තුවෙනි.
“ මාව මරාපු එකාගේ ගෙදරට ” ඇය නැවතත් පිළිතුරු දුන්නත් ඇය ආසනය මත නොවීය.
නිශාන්ත සැබවින්ම ඉමහත් භීතියට පත් විය. කාන්තාව අදෘශ්‍යමානව හිඳිමින් ඔහුට අමතයි. නිශාන්තට තමන් රිය පදවමින් සිටි බවක් මතක නැත. ඇක්සලේටරය තදින් මිරිකිණ. ගතවූයේ නිමේෂයකි. මග අසල වූ පහන් කණූවක නිශෘන්තගේ ත්‍රීරෝද රථය ගැටුණේ ඉමහත් වේගයකින් මෙන්ම දැඩි හඬක්ද නංවා ගෙනය. තව දුරටත් නිශාන්තට කිසිවක් නොදැනිණ. බියක් හෝ වේදනාවක් හෝ කිසිවක් නොදැනිණ. හාත්පස අඳුරු කරවමින් තම දෑස් පියවී ගියේය.
නිශාන්තට යලිත් වේදනාවක් දැනුණේය. තම දෙපා වේදනාවෙන් කකියයි. මුහුණ මත දැවිල්ලක් ඇති වෙමින් තිබෙයි. ඔහු දෑස් විවර කළේය. තමා වටේටම සුදු ඇතිරිලි දැමූ ඇඳන් මත මිනිස්සු නිදා සිටිති. ඔහුද එවැනිම ඇඳක් මත වැතිර හිඳියි. අපහසුවෙන් මඳක් හිස ඔසවා බැලූ ඔහුට තම දෙපා දෑත් ආදිය මත වෙළුම් පටි යොදා ඇති බව පෙනුණේය. තමා සිටින්නේ රෝහලේ බව ඔහුට අමුතුවෙන් කිව යුතු නැත. නැවතත් කොට්ටය මත හිස තබා ගත් ඔහු තමාට ඉහලින් දිසෙන වහලය දෙස බලා සුසුමක් පිට කළේය.
කාලයාගේ ඇවෑමෙන් සිරියාවතීගේ අවතාරය එම ප්‍රදේශයෙන් ඉවත් විය. ඊට හේතුව වූයේ දක්ෂ කට්ටඩියෙකු ලවා එම භූතාත්මය බෝතලයක සිරකර ගල් වලක දැමීම බව ගම්වැසියන් කිසිවෙකු නොදත්තේය. ගම්මුන් නැවතත් සුපුරුදු පරිදි තම එදිනෙදා කටයුතු කරගෙන ගියේ එවැන්නක් සිදුවූ බවද නොදන්නවුන් මෙනි. එසේ වුවද නිශාන්තටනම් තවමත් එම සිදු වීම හොඳින් මතක ඇත.
වසර කිහිපයකට පෙර සිදුවූ සත්‍යය සිදුවීමකි. මෙහි එන නම් මනඃකල්පිතය.
🤗 මරු
ReplyDelete