Jun 5, 2012

මේ රටේ දේශපාලනයේ පදනම ලෙස බොහෝ අය කල්පනා කරන්නේ සිංහල ජාතිවාදයයි. මහින්ද රාජපක්ෂ විසින් සිංහල ජාතිවාදය ඉස්මොලේ යන්නටම ජනතාවට එන්නත් කළ නිසා මේ වන විටත් අපට ජාතිවාදයට විකල්පයක් සොයන්නට සිදුව තිබේ.
යුද්ධ අවසන් කල පසු රටේ ජනතාවගේ වීරයන් බවට පත්වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සේම හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆෝන්සේකාද කල්පනා කලේ දෙමල ජාතික අරගලය අවි බලයෙන් සහමුලින්ම සමූල ඝාතනය කළ සැනින් සියලු ප්‍රශ්ණ එක් රැයින් සමතයකට පත්වනු ඇතිබවයි. නමුත් අවසානයේ යුද්ධයට අප විසින්ම විසදුමක් ලබා දී දෙමල ජනතවට එක් රටක් තුල බලය බෙදා ජාතික ගැටලුවට විසදුම් සොයනවා වෙනුවට එල්.ටී.ටී.ඊ සංවිධානය සමූල ඝාතනය කිරීම මගින් අප සිදු කලේ දේශියව විසදා ගැනීමට තිබූ ජනවාර්ගික අර්බුදය ජාත්‍යන්තරයට විසදන්ට ඉඩහසර විවිර කර දීමයි.

මේ නිසා අවසානයේ මහින්ද රාජපක්ෂ රජයට අකමැත්තෙන් වුවත් යළි දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය විසදුමක් සොයන්නට මේ වන විටත් සිදුව තිබේ. මේ නිසා මේ වන විට මහින්ද චින්තනයට දරදිය ඇදි චමිපිකලාට, විමල්ලාට උන්හිටි තැන් අහිම ඇත. තවදුරටත් ජාතිවාදය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ රජය තුල ඉඩක් නොමැති බව අවබෝධ වෙමින් පවතින මේ උදවිය දැන් තමන්ගේ ජාතිවාදී අටිටාලය අටවන්නට තවත් තැනක් සොයමින් සිටියි. එයට කදිම ස්ථානය වශයෙන් හමු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාසයි. මීලගට බලයට පත්විය හැකි එ.ජා.ප රජයක නායකත්වයට සජිත් ප්‍රේමදාස කෙසේ හෝ පත්කර ගත හොත් විමල්ලාට,චමිපිකලට සිය ජාතිවාදය භාවිතා කරමින් ඒ රජයේත් ඇමතිධූරයන් ලබා ගන්නට පුලුවන් බව පැහැදිලිය.
මේ නිසා මේ වන විටත් විමල්ලා චමිපිකලා එ.ජා.ප සාමාජිකයන්ට උපදෙස් ලබා දෙන්නට පටන් ගෙන තිබේ. එයින් සජිත් ප්‍රේමදාස මහත් චිත්තප්‍රීතියට පත්ව ඇති බවත් පෙනෙන්නට තිබේ. මහින්ද රාජපක්ෂගේ සිංහල ජාතිවාදී රජය නිසා දෙමල මිනිසුන් හතලිස් දහසකට පමණ සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූ අතර යළි මහින්දගේ හෙවනැල්ල බදු ජාතිවාදී සජිත් ප්‍රේමදාස බලයට පත් වූ විට යළි දෙමල ජනතාවට සිය අයිතිවාසිකම් ලබා ගැනීම සදහා අවි අතට ගන්නවා හැර වෙනත් විකල්පයක් නැත. එවිට මේ සජිත්ගේ ජාතිවාදී රජය යළි මීට වඩා වැඩි මිනිස් ඝාතනයන් සිදු කරමින් සිය ජාතිවාදී රජය රැකගන්නට උත්සහා කරනු ඇත. මේ නිසා අප යළි ගමන් කල යුත්තේ ජාතිවාදය දෙසට නොව  ජාතිවාදීහරණය දෙසටයි. විමල්ගේ පැවැත්ම ඇත්තේ ජාතිවාදය තිබෙනතුරු පමණි. මේ නිසා ඔහු මහින්දගෙන් පසු යළි අපේක්ෂා කරන ජන පදනමක් සහිත එකම ජාතිවාදී නායකයා වන්නේ සජිත් ප්‍රේමදාසය. සජිත් ගැන විමල් මෙසේ කියන්නේත් සජිත් ඉන් චූන් වන්නේත් මේ නිසායි.
සියළුම එක්සත් ජාතික පාක්‍ෂිකයන් එම පක්‍ෂයේ නියෝජ්‍ය නියක සජිත් පේ‍්‍රමදාස මහතා සමඟ එක්විය යුතු යයි ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. එක්සත් ජතාක පක්‍ෂය සහ එහි ජන පදනම තවදුරටත් ආරක්‍ෂා කර ගැනීමට නම් මෙම පියවර ගත යුතු බව පවසන අමාත්‍යවරයා එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් එජාපය දරුණු අර්බුදයකට යාම නොවැලැක්විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.
ඒ මහතා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමිනි.
‘යුද්දය පැවති කාලයේ එය හෑල්ලූවට ලක් කිරීමත්, යුද්දය නවතා දැමීමටත් අවශ්‍ය වන හොඳම අරගලය එජාපය කරනු ලැබුවා. දැනුත් ඔවුන් කරන්නේ ජාතිය මුහුණ දී තිබෙන අර්බුදය තව තවත් ත‍්‍රීව‍්‍ර කිරීමට උපාය තේරීමයි.’ යනුවෙන්ද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.
‘විමල් වීරවංශ ඇමතිතුමා විතරක් නෙමෙයි පාඨලී චම්පික ඇමතිතුමාත් මම යහපත් ක‍්‍රියාමාර්ග ගන්නා බව පවසා තිබුණා. නමුත් මම ඒ සියළු ප‍්‍රකාශ බාරගන්නේ උපේෂාවෙන්’ යයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ පසුගියදා විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් ජාතියට ආදරයක් ඇතිව කටයුතු කරන විපක්‍ෂයේ සිටින මන්ත‍්‍රිවරයා සජිත් පේ‍්‍රමදාස මහතා යයි කල ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ එක් එක් පුද්ගලයන්ගේ අදහස්වලට තමන් ප‍්‍රතිචාර දැක්වීමට අකමැති වුවද කවුරුන් හෝ තමන් අනුගමනය කරන ක‍්‍රියාමාර්ග හොඳයි යයි ප‍්‍රකාශ කලහොත් ඒ පිළිබඳ සතුටට පත් වන බවයි. දේශපාලන දිවියේදී හොඳ හා නරක යන විවිධ ප‍්‍රතිචාර ලැබෙන බවත් ඒවා සියල්ල උපේක්‍ෂාවෙන් විඳ දරා ගන්නා බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටී.

‛විමල්’ යනු කුමක්ද? – රෝහිත භාෂණ

හෘද සාක්ෂි මාළිමාව ඉතිහාසයේ බොහෝ මිනිසුන්ගේ වර්ථමාන නරුම ප‍්‍රතිභිම්භයේ කැඩපත් වන්නාහ. ඉතිහාය පුරා අනාතගය පුරෝකතනය කළ මිනිසුන් අකුරු කළ දෑ වර්ථමානයේ සමාජ යථාර්ථයන් බව අපට පසක් කර දෙයි. රෝහිත භාෂණ සහෝදරයා 2008 වර්ෂයේ රාවය සමකයට ලියූ මේ ලිපිය එදාටත් වඩා අදට වැදගත්ය. සමාජය පෙර අවදිවූවන්ගේ අකුරු එදාටත් වඩා අවැසි යුගයකි අද.
alt1994 මහ මැතිවරණ සමය ආසන්නයේදී වාසුදේව නානායක්කාර, නව සම සමාජ පක්‍ෂයෙන් බිඳී චන්ද්‍රිකා කුමාරණතුංගගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දක්වමින් ලංකා සම සමාජ පක්‍ෂය හා එක්විය. වාසුගේ පෙරළිය හා එහි දේශපාලනය කෙරෙහි එල්ල කළ ප්‍රහාරාත්මක ලිපියක් එවකදී ‛හිරු’ පුවත්පතේ පළවිණ. ‛උදය කීර්ති පෙරේරා’ නමින් ලිපිය ලියන ලද්දේ විමල් වීරවංශ විසිනි.
ලිපියේ මාතෘකාව මෙසේය: ‛‛වාසු යනු කුමක්ද?’’
ඒ ලිපියට දැන් දහ හතර අවුරුද්දකි. විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයෙන් බිඳී රාජපක්‍ෂ රජයට පක්‍ෂපාතී ස්ථාවරයක් මත දැන් අලුත් පක්‍ෂයක් ආරම්භ කොට තිබේ. නව පක්‍ෂයේ ‛‛මංගල නියෝජිත සමුළුව හමුවේ’’ ඉදිරිපත් කරන ලද ‛‛දේශපාලන උපායමාර්ගික වාර්තාවේ’’ මෙසේ දැක් වේ:
‛‛වීරත්වය මුසු උදාර සටන් පාඨ වෙතින් උපදවන බල ශක්තිය තුළින් පමණක් සමාජ ජයග්‍රහණයන් නිර්මාණය නොකෙරේ. බොහෝ විට, ජයග්‍රහණය කරා වන ගමන් මග වැටී ඇත්තේ, වීරත්වය මුසු වාග් පාඨ මතින් පණ පෙවුණු විරෝධතා වෙතින් මෙන්ම, ‛පාවාදීම්’ වශයෙන් බැලූ බැල්මට යමෙකුට අවශ්‍ය නම් පහසුවෙන් නම් කළ හැකි, එහෙත් සැබෑ ලෙසම හරයෙන් එසේ නොවන සම්මුති, ඇතැම් විට කෙටි අවාසි සහගත විය හැකි විභේදනකාරී එකඟතාවන් හා සතුරා අන්ද මන්ද කරවීමට සමත් සූක්‍ෂම උපක්‍රම යනාදිය වෙතිනි…ඇතැම් විට මතුපිටින් අසෝබන යැයි පෙනෙන පියවරක් වුව නිවැරදි වන්නේ, ඒ මගින් තම උපායමාර්ගික දැක්මට අනුකූලව පොදු ජන අරගලය අඟලකින් හෝ ඉදිරියට ගෙනයාමට හැකි වන්නේද යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුරට…..සාපේක්‍ෂවය.’’
ඇතැම් විට, 1994දී වාසුදේවගේ පෙරළියට වුවද කදිමට ගළපාලිය හැකිව තිබූ මේ වාක්‍ය කිහිපයේ සාරය විසින් දැන් මතුකරන සරදම්කාරී ප්‍රශ්නය මෙබඳුය: ‛‛විමල් යනු කුමක්ද?’’ – අතීත දවස් වනාහී අනු පිළිවෙළින් පෙරළා බැලිය හැකි පොතක් වී නම්, මේ ප්‍රශ්නය නොවැදගත් වන්නට ඉඩ තිබිණ. නමුත් දශක එක හමාරකට එපිටින් වූ අපේ අතීතය දැන් ශෝකී අවතාරයක් මෙනි. එය අපේ ඇස නොගැටීමේ වේදනාවෙන් අප අවටම සැරිසරයි.
17 වසරකට පෙර මා දැන හඳුනාගත් විමල් විශාල ආත්මයක් තිබූ කුඩා මිනිසෙකි. සංහාර සමයකදී මාවත්, ලඳු ලැහැබ්, වන මූකලන්වල මරා පුළුස්සා දැමූ සිය දහස් සංඛ්‍යාත මිනිසුන් පිළිබඳ දිවා රෑ ඇවිළුණු මතකයන්, ඒ ආත්මය තුළ නිධන්ව තිබිණ. එය, මළවුන් කසළ කඳු මෙන් අමතක කර නොදැමූ සමයකි. මර්දනකාරී අග්නියේ ගිනියම වැදි වැදීත්, අත් නොහළ සිහින වෙනුවෙන් සිය දිවිය අවදානමේ ලා රහසේ සටන් කළවුන් බොහෝ දෙනා අතර විමල්ද වෙහෙස නොබලා වැඩ කළේය. අළු මතින් නැගීගත් සරසවි ශිෂ්‍ය ව්‍යාපාරය තුළ පැළපදියම් වන්නට මාන බැලූ ජාතික චින්තන වර්ගවාදයට එරෙහිව සරසවි වේදිකා මත ඔහුගේ හඬ අභියෝගයක්ව රැව් දුන්නේය. රහසිගත පක්‍ෂ කණ්ඩායමේත්, ‛හිරු’ පත්‍රයේත් වැඩ බරින් වෙහෙස වූ බදාදාවේ මැදියම් රැයක, මහරගම බෝකුන්දර විද්‍යාල මාවතේ එස්.ආර්.එස්. මුද්‍රණාලයේ බිම එළාගත් පත්තර කඩදාසි මත වැතිරී නිදිවැරූ තරුණයෙකුගේ නොතිත් සමාජ අනුරාගය පිළිබඳ සිතුවිල්ල, අතීත මතක අඳුරේ සදාතන ගිනි සිළකි.
1994 මහ මැතිවරණයෙන් පසු විමල් මහා දේශපාලකයෙකුගේ රූපකායක් දක්වා පරිණාමය විය. බල දේශපාලන විස්මලන්තයේ දොර සිංහල පහළ මැද පංතියේ කැරළිකාරී තරුණයෙකු හමුවේ විවර විණ. ‛හෘදය සාක්‍ෂිය යනු මිනිසාගේ මාළිමාව’ යැයි ඕලන්ද සිතුවම්කරු වින්සන්ට් වැන් ගෝ වරෙක ලීවේය. බලය හා පුද්ගල සමෘද්ධිය පිළිබඳ කෙටි මාවත් ගහණ ඒ විස්මලන්තයේදී විමල් අතින් පමණක් නොව, ජවිපෙ අතින්ද ඒ මාළිමාව ගිළිහිණ. කර කැපූ ජාතික බැනියමක් හැඳ ජාතික චින්තනයේ පීතෘවරුන් සමග රජයේ හමුදා කඳවුරු අතර යුදවාදී උද්වේගය පතුරුවන්නට සැරිසරණ විමල් විසින්, හුදු පුද්ගලයෙකුගේ පමණක් නොව, මුළුමහත් දේශපාලන ව්‍යාපාරයකම සදාචාරාත්මක වැහැරී යාමේ තරම හකුළා පෙන්වන ලදී. තම පක්‍ෂය තමන්ට කළ ‛‛කෙණෙහිලිකම්’’ ගැන කතානායකවරයාට පැමිණිලි කරන්නට අප්‍රේල් 08 වෙනිදා පාර්ලිමේන්තුව තුළ නැගී සිටි විමල්, අනතුරුව එළඹි පැයේදී සිය ආපසු ගමන සම්පූර්ණ කළේය. උත්තර සමාජයක් පිළිබඳ වූ අචල විශ්වාසයෙන් සටන් කොට, වධ විඳ ජීවිත දුන් – සිරබත් කෑ පරම්පරා දෙකක ලක්‍ෂ සංඛ්‍යාත ගැහැණුන් සහ මිනිසුන්ගේ අනුපමේය පරිත්‍යාගයන්ගේ යශෝ කීර්තියේ මහිමයෙන් පාර්ලිමේන්තු සභාගැබට ඇතුල් වූ මිනිසෙකු, ‛‛උසස් පෙළ විභාගය අත් හරින්නට සිදුවීමේ හා සීගිරි නොයෑමේ පරිත්‍යාගයන්’’ පිළිබඳ උද්වේගයෙන් කතා කළේය. මහා දේශපාලකයෙකුට වසන් වූ ඔහුගේ අඟුටුමිටි ආත්මය, ගූඪ අඳුරින් පිරි ඒ සභා ගර්භය තුළ සැඟවෙන්නට තැනක් සොයන්නා සේ මට හැඟිණ.
සමාජ යුක්තිය හා මිනිස් සමානත්වය පිළිබඳ ආවේශයෙන් ඇවිළුණු සිය අතීත දවස් දෙස ඉඳහිට දවසකවත් හිස පොවා ආපසු බලන්නට හැකි එකම එක කවුළුවක් හෝ සිය ජීවිතය තුළ ඔහු ඉතිරි කොට තබාගත්තේදැයි මම නොදනිමි. අතීතයේ ඇතැම් දවසක නිමාවේදී, කොල්ලුපිටියේ 15වෙනි පටුමගේ කාර්යාලයෙහි කරදිය සුළඟින් තෙතබත් උඩුමාලයේ ඉදිරිපස පියගැට පෙළෙහි වාඩිවී, ‛ඔරු වසන්ත කාලම්’ චිත්‍රපටයේ ‛ආරාරෝ – ආරිවරෝ’ ගීතය ගයන සොඳුරු මිතුරෙකුගේ සෝබර හඬ දැන් දුර ඈත මතක මාත්‍රයකි.
විමල් යනු කුමක්ද?
විමල් යනු, ජනතා විමුක්ති පෙරමුණ ඉකුත් දශක එක හමාරක කාලය තුළ අභිරුචියෙන් ශක්තිමත් කළ ස්වයං ප්‍රශංසාවේත්, නග්න වර්ගවාදයේත්, දේශපාලන අවස්ථාවාදයේත් පුද්ගල ප්‍රකාශනයයි.
කීත් ගෝඩ්න්ගේ ‛මදර් නයිට්’ සිනමා පටයේ එන හොවාර්ඩ් කැම්ප්බල්, ඇමරිකානුවන්ට ඔත්තු සැපයීම පිණිස නාසි නිළධාරියෙකු වශයෙන් ව්‍යාජ ලෙස පෙනී සිටිමින් යුදෙව් විරෝධී මත පතුරුවන්නෙකි. ලෝක යුද්ධයෙන් පහළොස් වසරකට පසු දිවි නසා ගැනීමට පෙරාතුව අතීතාවර්ජනයේ යෙදෙන ඔහු මෙසේ කියයි: ‛‛ඔබ ගන්නා ව්‍යාජ වේශය පිළිබඳ ඔබ ප්‍රවේශම් විය යුතුය. මක් නිසාද යත්, අවසානයේදී ඔබ ඒ ව්‍යාජයම බවට පත්විය හැකි බැවිනි.’’
ඛේදනීය ඇත්ත එයයි.
‛ජාතික නිදහස් පෙරමුණ’ යනු විමල් වීරවංශගේ පුද්ගල උන්නතිකාමයේ තාර්කික අන්තයයි. එය ජනතා විමුක්ති පෙරමුණේ දෙබිඩි දේශපාලනයේ තාර්කික වන්දියයි.
 

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.