රටක් දිනෙන් දින දියුණු වන විට ජනතාවගේ ආර්ථික මට්ටම යහපත් වේ. ජනතාවගේ ආර්ථිකය යහපත් වන විට ඔවුන් තමන්ගේ පහසුවට අවශ්‍ය කරන දේවල සපයා ගැනීමට පෙලඹීම සාමාන්‍ය දෙයකි. මෙහිදී බොහෝ දෙනෙක් තමන්ටම කියා ගෙයක් සාදා ගත් පසුව ඉන් අනතුරුව කරන්නේ වාහනයක් මිලට ගැනීමට උත්සාහ දැරීමයි. නමුත් එලෙස සියල්ලෝම වාහන මිලදී ගෙන ඒ සියල්ලම පාරට ගෙන එන විට මාර්ග වල තදබද ඇති වේ. මෙයට ඇති විකල්පය කුමක්ද?
මේ සඳහා ලොව බොහෝ රටවල් මෙන්ම අපේ රටත් අනුගමනය කරන්නේ ජනතාව පුද්ගලිකව වාහන ගැනීම අධෛර්යමත් කිරීමයි. ලංකාව තුලද රජය විසින් වාහන බදු වැඩිකිරීමෙන් උත්සාහ දරන්නේ රථවාහන වලට බදු වැඩිකර අළුතෙන් වාහන ගැනීම අධෛර්යමත් කිරීමයි. නමුත් එය හිතකර විසඳුමක් නොවේ. එසේ නම් මෙයට පිළියම කුමක්ද? මෙයට පිළියම් සෙවීමට ප්‍රථම ජනතාව විසින් තමන්ටම වාහනයක් ගෙන එයින් ගමන් කරන්නට උත්සාහ දරන්නේ මන්ද? යැයි අප තේරුම් ගත යුතුය. සමහරු හිතන්නේ ජනතාව වාහන මිලට ගන්නේ රථගාය හෙවත් වාහනයක් ගැනීමට ඇති ඇම්ම නිසා බවයි. එය අර්ධ සත්‍යයක් වන නමුදු සම්පුර්ණ ඇත්ත එය නොවේ.
පුද්ගලිකව මාද ගමන් බිමන් සඳහා වාහනයක් පාවිච්චි කරන නමුදු සැමවිටම එය පදවන්නේ කැමැත්තකින් නොවේ. බොහෝ විට මා පිටරටකට ගිය අවස්ථා වලදී, එය දියණු රටක් නම් භාවිතා කරන්නේ පොදු ප්‍රවාහන සේවයයි. එයට හේතුව එම රටවල පොදු ප්‍රවාහන සේවය ඉතාමත් කාර්යක්ෂම, මිල අඩු සහ සුව පහසු ඒවා වීමයි. සමහර රටවල තමන්ගේ පුද්ගලික වාහනයක ගමනක් යාමට වඩා වේගයෙන් පොදු ප්‍රවාහන සේවයකින් ගමනාන්තය දක්වා යාමට පහසු වන තරමට කාර්යක්ෂම සහ වේගවත් වී ඇත. ලංකාව තුලද මේ තත්වය ඇති වනවා නම් ජනතාව පොදු ප්‍රවාහන සේවය වෙත යනු ඇත.
කලක් ප්‍රවාහන අමාත්‍ය වරයාව සිටි ඩලස් අලහප්පෙරුම මහතා විසින් කොලඹ නගරයට සිටි ලයිනර් City liner නමින් ප්‍රවාහන සේවයක් ආරම්භ කර කොලඹට ආසන්නව වාහන නැවැත්වීමේ රථගාල්ද අරඹන ලදී. නමුත් ඒ සියල්ල ක්‍රියාත්මක වුයේ ඉතාමත් කෙටි කලකි. එය ලත් තැනම ලොප් වී අසාර්ථක විය. එයට හේතුව කුමක්ද? එයට හේතුව වුයේ එම බස් සේවාව ජනතාවට පහසු එකක් නොවීමයි. වාහන වල යන ජනතාව පොදු ප්‍රවාහන සේවයකට කැඳවා ගැනීමට නම් එම ප්‍රවාහන සේවාව ආකර්ශණීය එකක් විය යුතුය.
කොලඹ නගරය තුල පොදු ප්‍රවාහන සේවය ප්‍රචලිත කිරීමට නම් පලමුව ප්‍රධාන පාරවල් වල එක අතට ගමන් කරන මං තීරු Track තුනක් ඇති කර එහි අයිනේම තීරුව බස් ධාවනයට පමණක් වෙන් කළ යුතුය. අනෙක් වාහන මෙම තීරුවේ ගමන් කරන්නේ නම් ඒවාට දඩ ගැසීමෙන් ඔවුන් මෙම තීරුවේ යාම වැලැක්විය හැක. එවිට මාර්ග තදබද ඇති අවස්ථා වලදීද බස් රථ වල යන මගියාට තමන්ගේ ගමන ඉතාමත් ඉක්මණින් යා හැකි අතර පුද්ගලික වාහනයක ගමන් ගන්නාවු අයට මාර්ග තදබදය නිසා තම ගමනට යන කාලය දිර්ඝ වනු ඇත. පොදු ප්‍රවාහන සේවය තුල තම ගමන ඉක්මණින් යා හැකි වීමෙන් ජනතාව එක්තරා දුරකට පොදු ප්‍රවාහන සේවය වෙත ආකර්ශනය වනු ඇත.
බස් වලට වෙනම මං තීරු යොදවා බස් ගමන වේගවත් කළ පසු සිදුකළ යුත්තේ කොලඹ නගරය තුල අධිසුඛෝපබෝගී බස් සේවාවක් ආරම්භ කිරීමයි. වර්තමානයේ සමහර මාර්ග වල ලංගම විසින් මෙය ක්‍රියාත්මක කළද එම බස් ප්‍රමාණය සීමිතය. එමෙන්ම එසේ බස් ගමන් කරන්නේ මාර්ග කිහිපයක පමණි. අනෙක් කරුණ නම් මේ බස් සේවාව තුලින් රජය ආරම්භයේ සිටම ලාභයක් බලාපොරොත්තු නොවිය යුතුය. කිසියම් කාලයක් මෙය පාඩු පිට හෝ පවත්වාගෙන ගියේ නම් ජනතාව මෙම බස් සේවාවට ආකර්ෂනය වනු ඇත. රජය විසින් මේ යෝජනාවද ක්‍රියාත්මක කළ හොත් ජනතාවට ඉතාමත් වේගවත් සහ පහසු ප්‍රවාහන සේවයක් ඉන් ලැබෙනු ඇත. එවිට කොලඹ නගරයේ සිටින සාමාන්‍ය ජනතාව තමන්ගේ එදිනෙදා කටයුතු වලට පොදු ප්‍රවාහන සේවය යොදා ගනු ඇත.
තෙවෙනි යෝජනාව නම් කොලඹ නගරයට ඉහලින් විදුලි දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමයි. කිසිදු මාර්ගයක් ඉන් අවහිර නොවන අතර මෙම දුම්රිය මගීන්ටද කිසිදු අපහසුතාවයකින් තොරව තම ගමනාන්තය දක්වා වේගයෙන් සහ සුව පහසුව යාමට මග සැලසෙනු ඇත. මා විසින් ඉහත කරන ලද යෝජනාවන්ට වඩා මෙම යෝජනාව වියදම් අධිකය. නමුත් රජයට ඒ සඳහා විදෙස් ආයෝජකයෙක්ගේ සහය ලබා ගත හැකිය. මිලියන ගණනක් ගැවසෙන කොලඹ නගරයට ප්‍රවාහන පහසුකම් සැපයීමට ඕනෑම ආයෝජකයෙක් මැලි නොවනු ඇත.
මෙම ලිපිය කියවීම ගැන මාගේ ස්තුතිය ප්‍රකාශ කරන අතරම මේ ලිපිය සම්බන්දව ඔබට සිතෙන දේ පහත ප්‍රකාශ කරන මෙන් ඉතා කරුණාවෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. ඔබගේ අදහස් මම ඉතා අගය කොට සලකන අතර ඉදිරි ලිපි වලට එය මට මහත් රුකුලක් වනු ඇත. මෙයට (කතෘ සජිත් දිල්හාන්)

එල එල ඔහොම යන් ....
ReplyDelete